Skip to main content

තෙවන වියමන | සචිත්ත පරියොදපනං.



මේක සෙන් කතාවක් මට මතක විදිහට.

ඕන්න එක ගමක පන්සලක වැඩ හිටියලු. ලොකු හාමුදුරු නමකුයි උන්නාන්සේගේ තරුණ ගෝල නමයි. ලොකු ස්වාමීන් වහන්සේ බොහෝම සීලවන්ත සමහර විට මගඵල ලාභී ස්වාමින්වහන්සේ කෙනෙක් විදිහට තමයි හැමතැනම ප්‍රසිද්ධ. හරි ගුණ ගරුකයි. බණ කියන්නත් රුසියා. හතර වටින් ආධාරනා ලැබෙනවා බණ ගෙවල් වලට. බණ කියනවා කියන්නේ මේ කලේ සංඝ ස්ටාර් ලා කියන කුණුහරුප බණ නෙමේ. හොඳ ධර්ම කරුණු පහදලා දෙන බණ.

ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් පන්සලට ආරාධනාවක් ලැබෙනව බණකට වඩින්න.හැබැයි ටිකක් දුර ගමකට තමා වඩින්න වෙන්නේ. ලොකු හාමුදුරුවෝ හිතුවා පොඩි තැන පන්සලේ තියල යනවට වඩා එක්කන් ගියොත් හොඳයි කියලා. මොකද උන්නාන්සේත් බණ කියන හැටි එහෙම ඉගෙන ගන්න එපැයි. තමන් වහන්සේත් කියලා තව කොච්චර කාලයක් ඉන්නද.අනික් එක තමන් ඉගෙන ගත්ත ධර්ම කරුණු ඒවා නොදන්න අයට කියල දෙන එක සුළුපටු පුණ්‍යකර්මයක්ද.

ඉතින් නියමිත දවසේ උදේන්ම නැගිටලා ලොකු හාමුදුරුවෝ ගෝල නමත් ලෑස්ති කරගෙන ගමන යන්න පිටත් වුණා. ඒ කාලේ දැන් කලේ වගේ වාහන එහෙමත් නෑනේ. පයින්ම තමා වඩින්න වෙන්නේ.කැලෑ මැදින්, ගංගා තරණය කරගෙන මග හම්බ වෙන ගම් වලින් දානය අරගෙන බොහේම දුෂ්කර ගමනක් තමා යන්න වෙන්නේ.

ඉතින් ඔහොම ටිකක් දුර වඩිනකොට මේ දෙනමට හම්බ වෙනවා ලොකු ගඟක්.දැන් මොකද කරන්නේ. කොහොමහරි ගඟෙන් එගොඩ වෙන්නත් ඕනා.පේන තෙක් මානෙක පාලමක්වත් ඔරුවක්වත් නෑ. පීනලම තමා එගොඩ වෙන්න වෙන්නේ.මුලින්ම පොඩි හාමුදුරුවෝ පීනල එගොඩ වුණා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ඉතින් සිවුරත් හදාගෙන ලෑස්ති වුනා ගඟ හරහා පීනල එගොඩ යන්න. ඔන්න ඔය අතරේ ඔතනට එනවා ලස්සන තරුණ කාන්තාවක්. ඇයටත් ඕනා ගඟෙන් එගොඩ වෙන්න.ඒත් පීනන්න දන්නේ නෑ. ලොකු හාමුදුරුවන්ටත් ඒක තේරිලා කාන්තාව ගාවට ගිහිල්ලා ඇහුව එගොඩ කරවන්නද කියලා. කාන්තාවටත් කොහොම හරි එගොඩ වෙන්න ඕන නිසා හාමුදුරුවන්ගේ යෝජනාවට කැමති වුණා.

ඉතින් ලොකු හාමුදුරුවෝ සිවුර එහෙමත් හදාගෙන අර කාන්තාවව ගත්තා කරට. කරට අරගෙන පීනල කාන්තවත් එක්ක එගොඩ උනා. කාන්තාව ඉතින් ස්වාමින් වහන්සේට වැඳල, පිං දීලා තමන්ගේ ගමන යන්න පිටත් වුණා. ලොකු හාමුදුරුවොත් ඉතින් සිවුර එහෙම ආයේ හදාගෙන ගෝල නමත් එක්ක තමන් වහන්සේ වඩින්න ගිය ගමන බලා පිටත් වුණා.

මේ සිද්ධ වෙච්ච දේ දිහා පොඩි තැන  හොඳට බලාගෙන හිටියා. පොඩි තැනට හිතාගන්න බෑ මොකක්ද වුණේ කියලා. ඇයි දෙයියනේ රටේ හතර දිග් භාගේම බොහෝම සිල්වත් භික්ෂුවක් විදිහට නමක් තියා ගෙන හිටපු තමන්ගේ ලොකු හාමුදුරුවෝ තරුණ කාන්තාවක් කරේ තියාගෙන පීනුවා කිව්වම. හාමුදුරු නමක් වුණාම කාන්තාවක් අතින් වත් අල්ලන්නේ නැ නේද. එහෙව් එකේ මේ කරපු වැඩේ කැපද. 

පොඩි තැනට ඉතින් වෙන සිහියක් නෑ.යමින් ගමනුත් බණ අහන ගමනුත් මතක් උනෙත් මේ සිද්ධිය. ලොකු හාමුදුරුවොන්ගෙන් කෙලින්ම මුණට අහන්නත් බෑ. ලොකු හාමුදුරුවොන්ටත් වෙච්ච දේ ගැන වගේ වගක් නෑ. පොඩි තැනට දැන් සිවුරු ඇරල යන්න තරම් හිත. මොකද කිසි ලැජ්ජාවක් නැති ගුරු හාමුදුරු කෙනෙක් ළඟ නේ ඉන්නේ.

ආපහු පන්සලට යන ගමනෙත් පොඩි හාමුදුරුවෝ දෙකට දෙවාරේ උන්නේ මේ සිද්ධිය ලොකු හාමුදුරුවන්ගෙන් අහනවද කියලා.කොහොමින් කොහොම හරි පන්සලටත් ආයේ වැඩියා. ලොකු හාමුදුරුවන්ටත් තේරිලා තිබුණේ අද පොඩිනම එක විදිහක් කියලා. වැඩි කතාබහක් නෑ. අමුතු විදියට ලොකු හාමුදුරුවෝ දිහා බලනවා. බැරිම තැන ලොකු හාමුදුරුවොත් පොඩි තැන ගෙන් ඇහුවා.

" පොඩි තැන මොකද මේ හොර ගල් අහුලන්නේ"
"නෑ මුකුත් නෑ ලොකු හාමුදුරුවනේ"
"මුකුත් නැතිවෙන්න බෑ... මොකක්ද ප්‍රශ්නේ කියල කියමුකෝ බලන්න."

පොඩි හාමුදුරුවොත් ඔන්න ඔහේ ඕන දෙයක් කියලා ලොකු හාමුදුරුවන්ට හිතේ තිබුනු දේ කිව්වා.

"ඔබ වහන්සේ අර දවල් කරපු වැඩේ හරිද මං අහන්නේ"
" මොන...?" ලොකු හාමුදුරුවොත් බුලත් විට හපන්න හදන ගමන් දන්නේ නැති ගානට ඇහුවා.

" අර තරුණ ඉස්තිරියාවක් කර තියා ගෙන ගඟේ පීනපු එක. හාමුදුරු නමකට කරන්න වටින වැඩක්යැ ඒක. අඩුම තරමේ ඉස්තිරී පරාණයක් දිහා වැරදි ඇහැකින් බලන්නත් අකැපැයි නොවැ. ගමේ එවුන් දැන ගත්තොත් මෙහෙ වසන්න වෙන්නේ නෑ. දානෙත් නැතුව සිවුරත් නැතුව ආයේ ගම් පළාතටම පන්නලා දාවි." පොඩි තැන එක දිගටම කියාගෙන ගියා.

ලොකු හාමුදුරුවෝ ටිකක් වෙලා පොඩි තැන දිහා බලං හිටියා. ඊට පස්සේ නක්කලේට වගේ හිනාවක් දාලා...

"ඈ පොඩි තැන.. මම නම් ඒ ඇත්තිව ගඟෙන් එගොඩ කරල එහා ඉවුරේ තියලා ආවා. තමුන්නාන්සේ තාමාත් ඒ ඇත්තිව කරේ තියාගෙන ඉන්නවා නොවැ. දැන්වත් ඔය ඉස්තිරියවව කරෙන් බස්ස ගත්තොත් හොඳා.."

මට මේ කතාව මතක් උනේ මූනුපොතේ සංසරණය වුණ උඩ තියන ඡායාරූපය දැකලා. බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන්නේ හැම දේටම මුල සිතයි කියල. නෙළුම් මල මඩේ පැලවී මඩ තුලින් මතු වී මඩ නොගෑවි පිපී තියෙන්නේ යම් සේද අපේ සිතත අපි දමනය කර ගත යුතුයි කෙලෙස් තියන ලෝකයේ ඉපිද කෙලෙස් තියෙන ලෝකයේ ජීවත් වෙලා කෙලෙස් වල ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න. මේ පිංතූරය කියන්නේ ඒක කියලයි මට හිතෙන්නේ. ඔබට කොහොමද හිතෙන්නේ.?

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං

Comments

Popular posts from this blog

සත් වන වියමන | මකරට ගිය රට

ඕන්න එකෝමත් එක කාලයක එක්තරා දේශයක වුන කතාවක් තමා මේ කියන්න යන්නේ. මේ එක්තරා දේශය ඒ කාලෙ ලෝකේ සමෘදිමත්ම රාජධානියක් විදිහට තමයි හැමෝගේම පිළිගැනීම. ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමියක් විදියටයි ලෝකයේ හතර දිග්බාගයේම මේ එක්තරා දේශය ප්‍රසිද්ධ. එක්තරා දේශයේ වැසියන්ට කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නෑ. රට වටේම මහ මුහුද. අවුරුද්ද පුරාම සෞම්‍ය හිරු කිරණ. කලට වැසි. දණ්ඩක්, ඇටයක් බිමට නිකන් විසි කලත් පැලවෙන තරම් සාරවත් පොළව. ආයෙත් මොන අඩුපාඩුද? මේ එක්තරා දේශයේ වැසියොත් බොහෝම සාමකාමි දැහැමි පිරිසක් ඒ නිසා ඔවුන් අතර යුද්ධ කළකෝලහල එහෙම නෑ. හරිම සාමයෙන් සාමදානයෙන් තමයි මින්ස්සු ජීවත් වුණේ.  හැබැයි මේ එක්තරා දේශයේ වැසියන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අවුරුදු ගාණකට සැරයක් එන මකර උවදුර.ඒ කියන්නේ අවුරුදු ගාණකට සැරයක් මේ එක්තරා දේශයට දැවැන්ත ගිනි පිඹින මකරෙක් පියඹාගෙන එනවා. ඒ එන්නේ දේශයට උතුරෙන් තියෙන මහා විශාල කෑලෑවෙන්. මේ කැලෑව කිසිම මනුෂ්‍ය වාසයක් නැති රුදුරු සත්තුන්ගෙන් පිරිච්ච කැලයක් විදිහටයි මිනිස්සූ විශ්වාස කලේ. ඒ නිසා පණට ආදරේ කිසි කෙනෙක් ඔය කැලෑවට යන්නේ නෑ. ඔන්න ඉතින් ඔය කැලෑවෙන් අවුරුදු ග

දෙවන වියමන | තෙපිටයි ඒ ශාපේ... පව්කාරයිනි !

ප්‍රදීපා ධර්මදාස සහ දීපිකා ප්‍රියදර්ශනී ගායන කරන "සොයා දියව් මට සරණක්" ගීතය මෑත කලයේදී වඩාත් ජනප්‍රිය වුනේ එක්තරා රියලටි තරඟයකදී ආධිත්‍යා වැලිවත්ත විසින් ගායනා කිරීමත් සමඟයි. මම මේ කියන්න යන්නේ ආධිත්‍යා ගැනවත් රියලටි තරඟ ගැනවත් එහෙම නැත්තන් මේ ගීතය ගැනවත් නෙමේ.ඒවා ගැන පස්සේ කතා කරමු. මම හිතන්නේ හැමෝම දන්නව ඇති ආචාර්ය සුනිල් අරියරත්න මහත්තයා මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන්නේ 88, 89 කාලයේ මේ සකල පිරින් පිරි සිරි ලංකාවේ සිදුවුණු හැබැයි මේ ලෝකයේ කවදාවත් සිදු නොවිය යුතු සිද්ධි සමුදායක් පාදක කරගෙන කියලා. ඒ ගැනත් මම පස්සේ දවසක ලියන්නම්.මේ ගීතය මගේ ජීවිතයට සමීප වෙන්නේ මට පෞද්ගලිකව සිදුවුණ සිදුවීමක් නිසයි. ආධිත්‍යා මේ ගීතය කියනකොට මගේ හිත මීට වසර ගණනාවක් ඈතට ගියා. සමහර ගීත තියනව ඒ ගීත මතක් වෙද්දී අපිට පෞද්ගලික අතීත සිදුවීමක් මතක් කරන. සමහර විට ඒ සිදුවීම ගීතයේ තේරුමට ලොකු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්.මම ඒ කතාව නම් ගම් නැතුව කියන්නම්. මීට වසර කීපයකට පෙර මම සේවය කළේ කොළඹින් ඉතා දුර දුශ්කර පලාතක.ප්‍රධාන නගරයකට එන්න නම් හැතැප්ම 10 කටත් වඩා යන්න තියනවා. ඒකත් දවස් දෙකකට සැරයක් තියෙන බස් එක