Skip to main content

සත් වන වියමන | මකරට ගිය රට


ඕන්න එකෝමත් එක කාලයක එක්තරා දේශයක වුන කතාවක් තමා මේ කියන්න යන්නේ. මේ එක්තරා දේශය ඒ කාලෙ ලෝකේ සමෘදිමත්ම රාජධානියක් විදිහට තමයි හැමෝගේම පිළිගැනීම.ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමියක් විදියටයි ලෝකයේ හතර දිග්බාගයේම මේ එක්තරා දේශය ප්‍රසිද්ධ. එක්තරා දේශයේ වැසියන්ට කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නෑ. රට වටේම මහ මුහුද. අවුරුද්ද පුරාම සෞම්‍ය හිරු කිරණ. කලට වැසි. දණ්ඩක්, ඇටයක් බිමට නිකන් විසි කලත් පැලවෙන තරම් සාරවත් පොළව. ආයෙත් මොන අඩුපාඩුද? මේ එක්තරා දේශයේ වැසියොත් බොහෝම සාමකාමි දැහැමි පිරිසක් ඒ නිසා ඔවුන් අතර යුද්ධ කළකෝලහල එහෙම නෑ. හරිම සාමයෙන් සාමදානයෙන් තමයි මින්ස්සු ජීවත් වුණේ. 

හැබැයි මේ එක්තරා දේශයේ වැසියන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අවුරුදු ගාණකට සැරයක් එන මකර උවදුර.ඒ කියන්නේ අවුරුදු ගාණකට සැරයක් මේ එක්තරා දේශයට දැවැන්ත ගිනි පිඹින මකරෙක් පියඹාගෙන එනවා. ඒ එන්නේ දේශයට උතුරෙන් තියෙන මහා විශාල කෑලෑවෙන්. මේ කැලෑව කිසිම මනුෂ්‍ය වාසයක් නැති රුදුරු සත්තුන්ගෙන් පිරිච්ච කැලයක් විදිහටයි මිනිස්සූ විශ්වාස කලේ. ඒ නිසා පණට ආදරේ කිසි කෙනෙක් ඔය කැලෑවට යන්නේ නෑ. ඔන්න ඉතින් ඔය කැලෑවෙන් අවුරුදු ගාණකට සැරයක් එන මකරාගෙන් මිනිස්සුන්ට හරිම කරදරේ. ගම් නගර පිටින් ගිනි තියනවා. වගා බිම් ඔක්කොම විනාෂ කරනවා. මිනිස්සු පළාත් පිටින් මරලා දානවා. භාණ්ඩාගාරවල පුරවලා තියෙන රන් රිදී වස්තුව කොල්ල කනවා. වැසියන්ට පුදුම කරදර ගොන්නකට තමා මුහුණ දෙන්න වෙන්නේ.

මේ කරදර ඉවසගන්න බැරිම තැන වැසියන් අතරින් වීරයෙක් පහළ වුණා. හරියට දියසෙන් කුමාරයා වගේ. ඔහු පොරොන්දු වුණා තමන් මේ මකර උවදුර විනාෂ කර එක්තරා දේශය නැවතත් පෙර තිබුණ තත්වයට පත් කරන බව. මිනිස්සුන්ටත් සතුටුයි. මිනිස්සුත් මේ වීරයාට ගරු සත්කකාර ආශිර්වාද කරලා මහ කැලෑව දිහාවට පිටත් කරනවා මකරාව මරන්න.

එහෙම වීරයා කැලෑවට ගිහිල්ලා ටික කාලයකින් මකර උවදුර ඉවර වෙනවා. මිනිස්සු හිතුවා වීරයා මකරව මරන්න ඇති කියලා. ඒත් වීරයා ආපහු එක්තරා දේශයට එන්නේ නෑ. මිනිස්සු ටික කාලයක් බලාගෙන ඉන්නවා වීරයා පිළිගන්න. ඒත් එන්නේ නැති කොට මිනිස්සු වීරයාව අමතක කරලා දානවා. ඔහොම අවුරුදු කිහිපයක් ගතවෙනවා. මිනිස්සුත් ඉස්සර වගේම සතුටින් ජීවත් වෙනවා. ඕන්න ටික කාලයකට පස්සේ ආයෙත් පරණ ප්‍රශ්නෙම එනවා. ඈත කැලෑවේ ඉඳලා මකරා අයෙත් එක්තර දේශයට පහර දෙනවා. නැවත වීරයෙක් බිහිවෙනවා. වීරය මකරා මරන්න කැලෑවට යනවා. වීරයයි මකරයි දෙන්නම අතුරුදහන් වෙනවා.

මේ විදියට කිහිප සැරයක්ම මකරා මේ එක්තරා දේශයට ආවා. ඒ හැම පාරම වීරයෙක් බිහිවෙලා මකරා මරන්න පිට වෙලා මකරයි වීරයයි දෙන්නම අතුරුදහන් වුණා. මේක මේ විදිහට කිහිප වතාවක්ම වුණා. මේක බලාගෙන හිටපු එක්තරා දේශයේ නිර්භීත වැසියෙක්ට දොළ දුකක් ආවා අපේ වීරයාගේ මකර දඩයම සියැසින්ම බලන්න. ඉතින් මකරා දඩයම් කරන්න වීරයා කැලෑවට පිටත් වෙනකොට අපේ නිර්භීත වැසියාත් හොරෙන්ම වීරයාගේ පස්සෙන් කැලයට ඇතුලු වුණා.

දවස් දෙක තුනක් කැලෑව ඇතුලට ගිහින් අන්තිමට වීරයා මකරාගේ මාළිගාව ඉස්සරහට ආවා. මාළිගාවක් කිව්වට මේක උස කන්දක් පාමුළ තිබුණ ගල්ගුහාවක්. ගල්ගුහාව පුරවලා රන් රිදී මැණික් වලින්. ගල්ගුහාව ඉස්සරහ විශාල සිංහාසනයක්. සිංහාසනය උඩ මකරා ඉඳගෙන ඉන්නවා. වීරයා දැක්ක මකරාට හරිම තරහයි. මකරා සිංහාසනයෙන් නැගිටලා තරහෙන් නහයෙන් දුම්, ගින්දර පිට කර කර වීරයා එක්ක සටනට බැස්සා. මේ සියල්ල හොරෙන් ආපු නිර්භීත වැසියා බලාගෙන හිටියා. ඒ සටන බලන්න වටින සටනක් තමයි. මකරා වෙලාවකට පොළවෙත් තව වෙලාවක අහසට නැගලා කටින් ගින්දර පිට කර කර සටන් කරනවා. වීරයාත් කර ඇරියේ නෑ. උඩ පැන පැන මකරාත් එක්ක හරි හරියට සටනේ. කොහොම හරි මකරාගේ දුර්වල වෙලාවක් බලලා වීරයා උඩ පැනලා මකරාගෙ ඔලුව කඩුවෙන් පසාරු වෙන්න ඇන්න. ටික වේලාවක් එහෙට මෙහෙට ඇඹරුණ මකරා මැරිලා බිමට වැටුණා. එතකොට තමා අපේ නිර්භීත වැසියාගේ ‍ඇඟට ලේ ටිකක් ඉනුවේ.

වීරයාට හොඳටම මහන්සියි. පැය ගාණක් ඉතින් සටන් කලානේ. වීරයා කඩුව අත ඇරලා වටපිට බැලුවා. ගල්ගුහාව ඉස්සරහ තිබුණ සිංහාසනය දැක්ක වීරයා ඒ පැත්තට ගිහින් සිංහාසනය උඩ ඉඳගත්තා. ටික වෙලාවකින් වීරයාට තේරෙනවා ඇඟට අමුත්තක්. එච්චරයි වීරයාට මතක. 

මේ ඔක්කෝම නිර්භීත එක්තරා දේශයේ වැසියා දකිනවා. වීරයා සිංහාසනයේ ඉඳගත්තට පස්සේ වීරයාගේ වෙනසක් ඔහු දකිනවා. වීරයාගේ ශරීරය ටික ටික ලොකු වෙනවා. ඇඟ පුරා කොරපොතු වැවෙන්න පටන් ගන්නවා.මුහුණ ටික ටික වෙනස් වෙලා හොම්බක් එනවා. පිටිපස්සෙන් වලිගයක් වැඩෙන්න පටන් ගන්නවා. කොටින්ම කියුවොත් වීරයා ටිකෙන් ටික දැවැන්ත ගිනි පිඹින මකරෙක් බවට පත්වුණා.

ප.ලි : පින්තූර සහ කතාවේ අදහස අන්තර්ජාලයෙන්

ප.ප.ලි. : මකරාගේයි වීරයාගේයි පින්තූරයක් හොයාගන්න තිබුණේ නෑ. වෙන දාන්න හොඳ පින්තූරයක් කම්පනාවට ආපු නැති නිසා ලිපියේ පාළුව මකන්න නිකන් පින්තූරයක් දැම්මේ.  පින්තූරෙ දැකලා නිකන් හිත කලබල කරගන්නවා එහෙම නෙමේ ඈ.

Comments

Popular posts from this blog

සය වන වියමන | කාල තරණය

  මට ඕනේ අතීතයට යන්න. මගේම කියලා පුංචි කාලයාත්‍රවක නැගලා කාලය සහ අවකාශය හරහා අතීතයට යන්න. ලොකු කාලයක් නෙමේ. අවුරුදු 20ක් විතර අතීතයට.... වෙන කාගෙවත් නෙමේ මගේම අතීතයට යන්න. ඉස්සර මායි මල්ලිලා දෙන්නයි නිදා ගත්තේ එකම කාමරේ.... මම එක ඇඳක. මල්ලිලා අනික් ඇඳේ. නිදාගන්න ගියේ එක වගේ පිජාමා තුනක් ඇඳන් එකම වෙලාවට. කෑවේ එකම වෙලාවට පාඩම් කලේ එක ළඟ තිබුණු මේස තුනක. ඉස්කෝලේ ගියේ එකම ඉස්කූල් වෑන් එකේ එකට. ආවේ එකට. හැමදේම කලේ එකට. සෙල්ලම් කලේ එකට. අම්මගෙන් බැනුම් ඇහුවේ එකට.හැමදේම එකට.  පොඩි කාලේ මට විතරයි බයිසිකලයක් තිබුනේ. ඕකෙන් ඉතින් කොච්චරවත් බිම වැටෙනවා. බිම වැටිලා මගේ දනිස් දෙකම ලෙලි ගිහිල්ලා තිබුණේ. ඒ තුවාල අවුරුදු දෙකක් විතරම හොඳ වෙන්නේ නැතුව තිබුනා. ඒකට බෙහෙත් දාන්න ගියාම ඩොකා අහනවනේ කොහොමද තුවාල වුණේ කියලා. ඉතින් අම්මා කියනවා බයිසිකලෙන් වැටිලා කියලා. ඊළඟට ඇතුලට එන්නේ මල්ලිලා දෙන්නා උන් දෙන්නගේ කකුල් වලත් ඊටත් හපන් තුවාල. ඩොකා ආයෙත් අහනවා  "මේ මොනව කරගෙනද? බයිසිකලෙන් වැටිලද?"  "නෑ ඩොක්ට බයිසිකලය පස්සේ දුවලා " අම්මා උත්තර දෙනවා. මල්ලිලාට ඒ වෙද්දි බයිසිකල් පදින්න බැරි වුණත් මං...

තෙවන වියමන | සචිත්ත පරියොදපනං.

මේක සෙන් කතාවක් මට මතක විදිහට. ඕන්න එක ගමක පන්සලක වැඩ හිටියලු. ලොකු හාමුදුරු නමකුයි උන්නාන්සේගේ තරුණ ගෝල නමයි. ලොකු ස්වාමීන් වහන්සේ බොහෝම සීලවන්ත සමහර විට මගඵල ලාභී ස්වාමින්වහන්සේ කෙනෙක් විදිහට තමයි හැමතැනම ප්‍රසිද්ධ. හරි ගුණ ගරුකයි. බණ කියන්නත් රුසියා. හතර වටින් ආධාරනා ලැබෙනවා බණ ගෙවල් වලට. බණ කියනවා කියන්නේ මේ කලේ සංඝ ස්ටාර් ලා කියන කුණුහරුප බණ නෙමේ. හොඳ ධර්ම කරුණු පහදලා දෙන බණ. ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් පන්සලට ආරාධනාවක් ලැබෙනව බණකට වඩින්න.හැබැයි ටිකක් දුර ගමකට තමා වඩින්න වෙන්නේ. ලොකු හාමුදුරුවෝ හිතුවා පොඩි තැන පන්සලේ තියල යනවට වඩා එක්කන් ගියොත් හොඳයි කියලා. මොකද උන්නාන්සේත් බණ කියන හැටි එහෙම ඉගෙන ගන්න එපැයි. තමන් වහන්සේත් කියලා තව කොච්චර කාලයක් ඉන්නද.අනික් එක තමන් ඉගෙන ගත්ත ධර්ම කරුණු ඒවා නොදන්න අයට කියල දෙන එක සුළුපටු පුණ්‍යකර්මයක්ද. ඉතින් නියමිත දවසේ උදේන්ම නැගිටලා ලොකු හාමුදුරුවෝ ගෝල නමත් ලෑස්ති කරගෙන ගමන යන්න පිටත් වුණා. ඒ කාලේ දැන් කලේ වගේ වාහන එහෙමත් නෑනේ. පයින්ම තමා වඩින්න වෙන්නේ.කැලෑ මැදින්, ගංගා තරණය කරගෙන මග හම්බ වෙන ගම් වලින් දානය අරගෙන බොහේම දුෂ්කර ගමනක් තමා යන්න වෙන්නේ...

දෙවන වියමන | තෙපිටයි ඒ ශාපේ... පව්කාරයිනි !

ප්‍රදීපා ධර්මදාස සහ දීපිකා ප්‍රියදර්ශනී ගායන කරන "සොයා දියව් මට සරණක්" ගීතය මෑත කලයේදී වඩාත් ජනප්‍රිය වුනේ එක්තරා රියලටි තරඟයකදී ආධිත්‍යා වැලිවත්ත විසින් ගායනා කිරීමත් සමඟයි. මම මේ කියන්න යන්නේ ආධිත්‍යා ගැනවත් රියලටි තරඟ ගැනවත් එහෙම නැත්තන් මේ ගීතය ගැනවත් නෙමේ.ඒවා ගැන පස්සේ කතා කරමු. මම හිතන්නේ හැමෝම දන්නව ඇති ආචාර්ය සුනිල් අරියරත්න මහත්තයා මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන්නේ 88, 89 කාලයේ මේ සකල පිරින් පිරි සිරි ලංකාවේ සිදුවුණු හැබැයි මේ ලෝකයේ කවදාවත් සිදු නොවිය යුතු සිද්ධි සමුදායක් පාදක කරගෙන කියලා. ඒ ගැනත් මම පස්සේ දවසක ලියන්නම්.මේ ගීතය මගේ ජීවිතයට සමීප වෙන්නේ මට පෞද්ගලිකව සිදුවුණ සිදුවීමක් නිසයි. ආධිත්‍යා මේ ගීතය කියනකොට මගේ හිත මීට වසර ගණනාවක් ඈතට ගියා. සමහර ගීත තියනව ඒ ගීත මතක් වෙද්දී අපිට පෞද්ගලික අතීත සිදුවීමක් මතක් කරන. සමහර විට ඒ සිදුවීම ගීතයේ තේරුමට ලොකු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්.මම ඒ කතාව නම් ගම් නැතුව කියන්නම්. මීට වසර කීපයකට පෙර මම සේවය කළේ කොළඹින් ඉතා දුර දුශ්කර පලාතක.ප්‍රධාන නගරයකට එන්න නම් හැතැප්ම 10 කටත් වඩා යන්න තියනවා. ඒකත් දවස් දෙකකට සැරයක් තියෙන බස් එක...