මම හිතන්නේ හැමෝම දන්නව ඇති ආචාර්ය සුනිල් අරියරත්න මහත්තයා මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන්නේ 88, 89 කාලයේ මේ සකල පිරින් පිරි සිරි ලංකාවේ සිදුවුණු හැබැයි මේ ලෝකයේ කවදාවත් සිදු නොවිය යුතු සිද්ධි සමුදායක් පාදක කරගෙන කියලා. ඒ ගැනත් මම පස්සේ දවසක ලියන්නම්.මේ ගීතය මගේ ජීවිතයට සමීප වෙන්නේ මට පෞද්ගලිකව සිදුවුණ සිදුවීමක් නිසයි.
ආධිත්‍යා මේ ගීතය කියනකොට මගේ හිත මීට වසර ගණනාවක් ඈතට ගියා. සමහර ගීත තියනව ඒ ගීත මතක් වෙද්දී අපිට පෞද්ගලික අතීත සිදුවීමක් මතක් කරන. සමහර විට ඒ සිදුවීම ගීතයේ තේරුමට ලොකු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්.මම ඒ කතාව නම් ගම් නැතුව කියන්නම්.
මීට වසර කීපයකට පෙර මම සේවය කළේ කොළඹින් ඉතා දුර දුශ්කර පලාතක.ප්‍රධාන නගරයකට එන්න නම් හැතැප්ම 10 කටත් වඩා යන්න තියනවා. ඒකත් දවස් දෙකකට සැරයක් තියෙන බස් එකෙන්. ඒ කාලේ හැටියට මුළු ගමටම තිබුණේ කාර් දෙකයි. ඉතින් හිතාගන්න පුළුවන් නේ කොච්චර දුශ්කර ගමක්ද කියලා.
ඔය ගම සහ අහල ගම් හතටම තිබුණේ එක ඉස්පිරිතාලයයි.ඒකත් පුදුම අඟහිඟකම් මැද තමා ඇදගෙන ගියේ. මගේ රාජකාරිය හැටියට ගමේ ඉස්පිරිතාලයත් එක්ක ළඟින්ම වැඩ කරන්න වෙනව. සමහර විට සතියට දවස් තුන හතරක්ම මම ඉන්නේ ඉස්පිරිතාලයේ.
ඔය ඉස්පිරිතාලයේ හිටියා හරිම කරුණාවන්ත දමිළ දොස්තර මහත්මියක්. මට වඩා අවුරුදු හයක් එහෙම නැත්තන් හතක් වැඩිමල් ඇති. මම ඉස්පිරිතාලයට නිතර දෙවේලේ යන එන නිසා ඇය මාත් එක්ක බොහොම හිතවත්.ඇය බොහෝම කරුණවන්ත ඒ වගේම දක්ෂ දොස්තර මහත්මියක් විදියට තමයි හැමෝම අතර ප්‍රසිද්ධ. හදිසි ප්‍රතිකාර ගැන හොඳ පුහුණුවක් ලබලා තිබුන නිසා මේ වගේ අඩු පහසුකම් යටතේ උණත් ජීවිත බොහෝ ගණනක් බේර ගන්න ඇය සමත් වෙලා තියනවා. දමිළ උනාට හොඳට සිංහල කතා කරන්නත් පුළුවන්. ගෙවල් මන්නාරම පැත්තේ.
එක දවසක් හවස හතරට විතර ඇති. මම වැඩ ඉවර කරලා ඉස්පිරිතාලෙන් එළියට යන්න හදන කොට මම දැක්කා මිනිස්සු කාණ්ඩයක් බොහෝම හදිස්සියෙන් ලෙඩෙක් අරන් රෝගින් ඇතුලත් කිරීමේ කාමරයට යනවා.රෝහලේ වැඩ කරනකොට ඔය වගේ සිදුවීම් බොහෝම සුලභ දෙයක්. ඒක නිසා මම සුපුරුදු විදිහට මගේ බෝඩිමට ගියා.
පැයකට විතර පස්සේ මට පණිවඩයක් එනවා ඉස්පිරිතාලේ කලබලයක් කියලා. මම යනකොට රෝගීන් ඇතුල් කරන කාමරය එකම යුධ පිටියක්. ගල් පොලු වීදුරු කටු හැම තැනම. ඉස්සරහ නවත්තලා තිබුණ ambulance එකටත් කවුද ගහලා. ලොකු පිරිසක් ඉස්පිරිතාලය වට කරගෙන පොලු අතේ තියාගෙන කෑගහනවා. තව ගෑනු ටිකක් පැත්තකට වෙලා බෙරිහන් දිදී අඬනවා. මට කරන්න ලොකු දෙයක් තිබුණේ නෑ. ටික වෙලාවකින් පොලිසිය ඇවිල්ලා තත්වය සාමකාමි කලා.
වෙලා තිබුණේ මේකයි. එදා හවස පොඩි ලමයෙක් රෝහලට ඇතුලත් කරලා තිබුණා එහා හමේ ඉඳලා . රඹුටන් ඇටයක් උගුරේ හිර වෙලා. නර්ස්ලා කියන විදිහට එනකොටත් ලමයා මැරිලා ඉඳල තියෙන්නේ. නිල්ම නිල් පාටලු ලමයා. මොකද කරදරයක් උන ගමන් ඉස්පිරිතාලෙට එන්න වාහන තියන එකක්යැ අඩුම තරමේ හරි හමන් පාරක්වත් නෑනේ.කොහොමින් කොහොම හරි අර දමිළ දොස්තර නෝනා. පුළුවන් තරම් උත්සහ අරන් තියනවා ලමයා බේර ගන්න. ඒත් ඇටය ස්වසනාලයේ ගොඩක් ඇතුලට ගිහිල්ලා හිරවෙල. පැය භාගයකට විතර පස්සේ දොස්තර නෝනාත් වැඩේ අත ඇරල දාලා ලමයාගේ අම්මටයි තාත්තටයි විස්තරය කියලා. ඒත් නැදෑයෝ ටික මේක පිළිගන්න කැමති වෙලා නෑ. ඒට පස්සේ නෑදෑයෝයි ගමේ එවුනුයි එකතුවෙලා ඉස්පිරිතාලෙට ගල් පොලු සංග්‍රහයක් දීලා.
ඉස්පිරිතාලෙට සෑහැන්න අලභාහානි. දොස්තර නෝනගේ ඔළුවටත් ගල් පාරක් වැදිලා අසාධ්‍ය වෙලා කොළඹ මහ ඉස්පිරිතාලෙ ICU එකේ මාසයක් විතර හිටියා. මාසෙකට විතර පස්සේ ආරංචි වෙනවා දොස්තර නෝනා අන්තරා වෙලා කියලා. ඔළුව ඇතුලේ ලේ ගැලීම නිසා කෝමා තත්වයට ගිහින් සිහිය එන්නේ නැතුවම අන්තරා වෙලා. මිනිය බාර ගන්නවත් කෙනෙක් ඉඳලා නෑ. ඒ නෝනාගේ අම්මයි තාත්තයි මැරිලා. සහෝදර සහෝදරියෝ නෑ. වෙන නෑදෑයෝ ගැන තොරතුරක් නෑ. අන්තිමට අපි කොළඹ ගිහිල්ලා ම්නිය ගමට ගෙනාවා.අපිට පුළුවන් උපරිමයෙන් අපි අවසාන කටයුතු කලා. මිනිය තිබ්බේ ඉස්පිරිතාලෙ අත ඇරලා තිබුන වාට්ටුවක් මැද. එච්චරයි මුළු ගමේම මිනියක් තියන්න ඉඩ තිබුණ තැනකට තිබුණේ. අහල ගම් හතේම මිනිස්සු ආවා මිනිය බලන්න. එදා තමයි ඔය ඉස්පිරිතාලේ මිනිස්සු වැඩියෙන්ම හිටපු දවස. ඒ වගේම එදා තමයි ඔය ඉස්පිරිතලේ දොස්තර කෙනෙක් පණ නැතුව හරි අන්තිමට හිටපු දවස. ඊට පස්සේ ඉස්පිරිතාලේ නිකන්ම වැහිලා ගියා.
මිනිය කනත්තට අරගෙන යන දිගටම මගේ ඔළුවේ තිබුණේ කලින් කිව්ව " සොයා දියව් මට සරණක් "ගීතය.
නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..//
දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..//
මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..//
හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..//
මුළු ගීතයම මේ සිද්ධියට අදාල නැති උනත් මේ වදන් ඇහෙද්දී මට මැවිලා පේනවා ඒ දොස්තර නෝනාව. මැදින් දෙකට බෙදුනු කොණ්ඩයේ තැනින් තැන විසිරිලා තියන නර කෙස්... නලල් මැද තියන තද රතු පාට තිලකය. තමාගේ ජීවිතයේ ලස්සනම කාලයෙන් වැඩි කොටසක් පොත් අතරටම දිය කරලා මැලවී ගිය ඇස්..... අපාට වෙලා රැලි වැටෙමින් තියන දෙතොල්... මලානික වෙමින් වයසට යන ශරීරය.... මට කදුළු අතරින් ඒ රූපය බොඳවෙලා පෙනුනා. ඒ නෝනා දොස්තර කෙනෙක් වෙන්න පුදුම මහන්සියක් දරන්න ඇති. එතනින් නවතින්නේ නැතුව තමන්ගේ මුළු ජිවිතයම තමන් හරි හැටි අඳුනන්නේ වත් නැති ම්නිස්සු වෙනුවෙන් කැප කළා. අන්තිමට කාත් කවුරුත් නැතුව මැරෙනා උනා.
තේ වත්තක් මැද තිබුණු ඇහැළ ගහක් යට බෞද්ධ ක්‍රමයට ආගමික වතාවත් තියලා මිනිය භූමදානය කලා. මිනිස්සු වලට පස් දානවා මම ඈත ඉඳන් බලන් හිටියා. සමහර විට අර කලබලයට සම්බන්ධ වුන අයත ඔතන ඉන්න ඇති. අදින් ප්ස්සේ මේ මිනිස්සුන්ට බෙහෙත් දෙන්න දොස්තර කෙනෙක් නෑ නේද කියලා මට කල්පනා වුණා.
"තෙපිටයි ඒ ශාපේ ........ පව්කාරයිනි ! "
ප.ලි. : ඒ කාලේ රටේ තිබුණ තත්වයයි විවිධ ප්‍රශ්න නිසා ඔය ඉස්පිරිතාලෙට වෛද්‍යවරයකු අනුයුක්ත කරන්න රජයට බැරි වෙනවා. ටික කාලයකට පස්සේ රෝහලත් වැහිලා යනවා. පුළුවන් මිනිස්සූ ලඟ නගරයේ රජයේ ඩිස්පෙන්සරියෙන් බෙහෙත් ගත්තා. අනිත් අය ගොඩ වෙදකම් කලා. දැන් නම් පාරවල් එහෙම හැදිලා ගම ටිකක් දියුනුයි. ගම මැද තිබුණ තේ වත්ත හරි නඩත්තුව නැති නිසා පුරන් වෙලා ගිහින්. හැබයි තාමත් ඒ තේ වත්ත කොණේ තියන විශාල ඇහැළ ගහ යට දොස්තර නෝනාගෙ සොහොන තියනවා.
පින්තූරය ගත්තේ.: https://youtu.be/BjlEAggcvi8
Comments
Post a Comment