Skip to main content

සිව් වන වියමන| කාන්තාරයේ වෘකයා - එක

පුර්විකාව


පොත් කියවිල්ලයි.තරු බැලිල්ලයි හැරුනම මම ආසම විනෝදාංශය තමයි ෆිලිම් බැලිල්ල.ෆිල්ම් එකක් මම බලන්න ගන්නේ හොඳට හිතල බලල. internet එකේ review ටිකක් කියවලා. imdb rank එක එහෙම බලලා, synopsis එක කියවලා එහෙම තමයි මම ෆිල්ම් එකක් බලන්නේ. මොකද වැඩක් නැති ෆිල්ම් එකකට යොදවන කාලය අපරදේනේ. ඊට වඩා හොඳයි ඒ වෙලාවේ පොතක් කියවගන්න එක. ඉතින් එහෙම හොඳ ෆිල්ම් එකක් හොයන කොට තමා මට හම්බ උනේ " Valkyrie" කියන ෆිල්ම් එක. මම ආසම නළුවන්ගෙන් එක්කෙනෙක් වන ටොම් කෲස් තම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. මේ ෆිල්ම් එක කොච්චර ලස්සනද කියනවනම් මම ෆිල්ම් එක විසි තිස් වතාවක්වත් බලන්න ඇති. එතනින් නවතින්නේ නැතුව මට හිතුණා ෆිල්ම් එක සිංහලින් අයෙමත් ලියන්න.ලිව්වට කියවන්න කෙනෙක් නෑනේ. ඒක හින්දා මම හිතුවා අද ඉඳන් කොටස් වශයෙන් ඒක මේ බ්ලොග් එකේ දාන්න. ඇත්තටම මේක කොහෙවත් දාන හිතාගෙන ලියපු එකක් නෙමේ. මගේ තියෙන කැහිල්ලට ලියපු එකක්.ලියපු එකේ අපරාදෙනේ මම විතරක් කියවන්නේ. ඔගෝලොත් අද ඉඳන් මාත් එක්ක කියවන්නකෝ.

ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2008 නිකුත් වුණේ.imdb අගය 7.1 ක්.ටොම් කෲස් මෙහි ප්‍රධාන චරිතය වන කර්නල් වොන් ස්ටෆන්බර්ග්ට රඟපානව. දෙවන ලෝක යුද්ධයේ ජර්මනියේ ආඥාදායකය වුන ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කරන්න යන මෙහෙයුමක් පසුබිමේ තමා කතාව ගලා යන්නේ. අපි පොත්වලින් දැකපු ගොඩක් චරිත ඒ විදිහටම ප්‍රතිනිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරයා උත්සහ කරලා තියනවා. මට පේන විදිහට ඒක ගොඩක් දුරට සාර්තක වෙලත් තියනවා

නෝස් පුරාවෘත වලට අනුව Valkyrie කියන්නේ යුද්ධයකදී කව්ද මැරෙන්නේ සහ කවුද ජීවත් වෙන්නේ කියල තීරණය කරපු දෙවඟන. මේ චිත්‍රපටියට මේ නම දාපු හේතුව ඉස්සරහට කියන්නම්.

 


එක


“  ජර්මනියේ අවදි වීම හිතුවාටත් වඩා ඉක්මනට බිඳ වැටෙමින් තිබෙන්නේ හිට්ලර් පොරොන්දු වූ සාමය සහ සෞභාග්‍යය පිරි දේශයේ සිහින ක්‍රමයෙන් බොඳ වී යමිනි .හිට්ලර්ගේ SS හමුදාව මඟින් සිදු කරන නොපණත් කම් මුළු මහත් ජර්මානු හමුදාවේම කීර්තියට නොමැකිය හැකි කළු පැල්ලමක් එල්ල කර ඇත.නාසින් විසින් සිදු කරන මේ ක්‍රෑර කම් පිළිබඳ හමුදාව තුලම මහත් කළකිරීමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ……." 


කර්නල් ස්ටෆන්බර්ග් ගේ අකුරු නොනවත්වා සිය දිනපොත මත ගලා යයි.සිය කුඩා කූඩාරම තුල දැල්වෙන ලන්තෑරුම් ආලෝකයෙන් ඔහුගේ ඇස් දෙක දිලිසෙන්නේ සිය අසහාය නායකයා කෙරෙහි ඇති වෛරයෙන්ද නැතහොත් සිය උපන් දේශය වන ජර්මනිය කෙරෙහි වූ අචල ආදරය නිසාදැයි කියා කියන්නට අපහසුය. අතරින් පතර ඇසෙන තුවක්කු හෝ බෝම්බ හඬක් හැරුණු විට කඳවුරු භූමිය රාත්‍රී කාලයේ මහ පාළු නිහඬ බවක් උසුලයි.


මේ 1943 අප්‍රේල් මාසයයි.ස්ටෆන්බර්ග් ජර්මන් හමුදාවේ දහවන යුධ ටැංකි බලකායත් සමඟ උතුරු අප්‍රිකාවේ ටියුනීසියා කඳවුරට අනයුක්ත කර තිබේ.ස්ටෆන්බර්ග් යනු ජර්මන් හමුදාවේ සිටින ශ්‍රේෂ්ඨ රණ ශූරයෙකි.1926 දී ජර්මන් හමුදාව සමඟ සාමාන්‍ය සෙබළෙකු ලෙස එක් වූ ඔහු මේ වන විට ලුතිනන්-කර්නල් වර්යෙක් දක්වා උසස් වීම් ලබා ඇත්තේ ජර්මානු අධිරාජ්‍යය බිහි කිරීමට සිය දිවි නොතකා සටන් කළ විරුවෙක් නිසාවෙනි.තිස් හයවෙනි වියට එළබුණද ඔහුගේ පෙනුමේ හා කතාවේ ඇත්තේ තරුණ විප්ලවවාදියෙකුගේ ලක්ෂණයි.තමාටම වෙන් වූ කූඩාරමේ සිට ස්ටෆන්බර්ග් සිය හවස් වරුව ගත කරන්නේ බොහෝ විට සිය දිනපොත ලියමිනි.මෙයද තවත් එවන් සැඳෑවකි.


"සිවිල් ජනයාට කරන හිරිහැර, සිරකරුවන්ට කරන වධහිංසා සහ යුදෙව් සමූල ඝාතන... මේ සියල්ල ජර්මානු පාලනය ලෝකයෙන් සහ සිය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට හේතු වී තිබේ.හමුදා නිළධාරියෙකු ලෙස තවදුරටත් මගේ කාර්යය විය යුත්තේ රට ආරක්ෂා කිරීමට වඩා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම බවයි මගේ හැඟිම....."


"කර්නල් ස්ටෆන්බර්ග්, සර්"


සිය කූඩාරම ඉදිරියට හදිසියේ පැමිණි සොල්දදුවාගේ ආමන්ත්‍රණයෙන් ස්ටෆන්බර්ග් තිගැස්සී නැවතත් පියවි ලෝකයට පැමිණියේය.ක්ෂණයෙන් සිය දිනපොත වසා දැමූ ස්ටෆන්බර්ග් හිටිවනම තම මේසය මත දැල්වෙන ලන්තැරුම දෙස හිස් බැල්මෙන් බලා සිටියේ තමා පිටුපසින් ආ සොල්දාදුවා තමා ලියමින් සිටියෙ කුමක්දැයි දුටුවාදෝයි කියන විචිකිච්ඡාවෙනි.


"ජනරාල් තව පැය හතරකින් කඳවුරට එනවා"  


"ස්තුතියි! ඔහු ආ විගසම මට දන්වන්න" ස්ටෆන්බර්ග් පිළිතුරු දුන්නේය.


සොල්දාදුවා පිටත්ව ගිය වහාම ස්ටෆන්බර්ග් දිනපොත සිය ඇතුල් කබායේ සුරක්ෂිතව තැන්පත් කළේ තවමත් අඩු නොවූ හදගැස්ම සහිතවයි.මේ ගෙවෙන්නේ දෙවන ලෝක යුද්ධයේ දරුණුතම කාල වකවානුවයි. මේ කාලයේ ගස් ගල් වලට පවා ඇස් කන් ඇති බවට ඇති ස්ටෆන්බර්ග් ගේ විශ්වාසයට හේතු නැත්තාම නොවේ.


"මා වට කර ඇති සියලුම මිනිසුන් සත්‍යයට මූණ දෙන්න බයයි. එසේත් නැත්නම් එසේ කිරීමට උවමනාවක් නැහැ.හිට්ලර්; මේ ලෝකයේ  පමණක් නොව ජර්මනියේද පරම සතුරෙකි. ඉක්මනින්ම මෙය වෙනස් විය යුතුයි." සිය මේසය මත ඇති හිට්ලර්ගේ මුද්‍රිත රුව දෙස බලමින් ස්ටෆන්බර්ග් තමාටම කියා ගත්තේ තිර අදිටනිනි.


ප.ලි



ටොම් කෲස් කර්නල් ස්ටෆන්බර්ග් ලෙස.


ක්ලොස් වොන් ස්ටෆන්බර්ග්



ස්ටෆන්බර්ග් සහ ටොම් කෲස්

https://images.app.goo.gl/okVYuV1aafw3gdK2A


Comments

Popular posts from this blog

තෙවන වියමන | සචිත්ත පරියොදපනං.

මේක සෙන් කතාවක් මට මතක විදිහට. ඕන්න එක ගමක පන්සලක වැඩ හිටියලු. ලොකු හාමුදුරු නමකුයි උන්නාන්සේගේ තරුණ ගෝල නමයි. ලොකු ස්වාමීන් වහන්සේ බොහෝම සීලවන්ත සමහර විට මගඵල ලාභී ස්වාමින්වහන්සේ කෙනෙක් විදිහට තමයි හැමතැනම ප්‍රසිද්ධ. හරි ගුණ ගරුකයි. බණ කියන්නත් රුසියා. හතර වටින් ආධාරනා ලැබෙනවා බණ ගෙවල් වලට. බණ කියනවා කියන්නේ මේ කලේ සංඝ ස්ටාර් ලා කියන කුණුහරුප බණ නෙමේ. හොඳ ධර්ම කරුණු පහදලා දෙන බණ. ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් පන්සලට ආරාධනාවක් ලැබෙනව බණකට වඩින්න.හැබැයි ටිකක් දුර ගමකට තමා වඩින්න වෙන්නේ. ලොකු හාමුදුරුවෝ හිතුවා පොඩි තැන පන්සලේ තියල යනවට වඩා එක්කන් ගියොත් හොඳයි කියලා. මොකද උන්නාන්සේත් බණ කියන හැටි එහෙම ඉගෙන ගන්න එපැයි. තමන් වහන්සේත් කියලා තව කොච්චර කාලයක් ඉන්නද.අනික් එක තමන් ඉගෙන ගත්ත ධර්ම කරුණු ඒවා නොදන්න අයට කියල දෙන එක සුළුපටු පුණ්‍යකර්මයක්ද. ඉතින් නියමිත දවසේ උදේන්ම නැගිටලා ලොකු හාමුදුරුවෝ ගෝල නමත් ලෑස්ති කරගෙන ගමන යන්න පිටත් වුණා. ඒ කාලේ දැන් කලේ වගේ වාහන එහෙමත් නෑනේ. පයින්ම තමා වඩින්න වෙන්නේ.කැලෑ මැදින්, ගංගා තරණය කරගෙන මග හම්බ වෙන ගම් වලින් දානය අරගෙන බොහේම දුෂ්කර ගමනක් තමා යන්න වෙන්නේ

සත් වන වියමන | මකරට ගිය රට

ඕන්න එකෝමත් එක කාලයක එක්තරා දේශයක වුන කතාවක් තමා මේ කියන්න යන්නේ. මේ එක්තරා දේශය ඒ කාලෙ ලෝකේ සමෘදිමත්ම රාජධානියක් විදිහට තමයි හැමෝගේම පිළිගැනීම. ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමියක් විදියටයි ලෝකයේ හතර දිග්බාගයේම මේ එක්තරා දේශය ප්‍රසිද්ධ. එක්තරා දේශයේ වැසියන්ට කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නෑ. රට වටේම මහ මුහුද. අවුරුද්ද පුරාම සෞම්‍ය හිරු කිරණ. කලට වැසි. දණ්ඩක්, ඇටයක් බිමට නිකන් විසි කලත් පැලවෙන තරම් සාරවත් පොළව. ආයෙත් මොන අඩුපාඩුද? මේ එක්තරා දේශයේ වැසියොත් බොහෝම සාමකාමි දැහැමි පිරිසක් ඒ නිසා ඔවුන් අතර යුද්ධ කළකෝලහල එහෙම නෑ. හරිම සාමයෙන් සාමදානයෙන් තමයි මින්ස්සු ජීවත් වුණේ.  හැබැයි මේ එක්තරා දේශයේ වැසියන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි අවුරුදු ගාණකට සැරයක් එන මකර උවදුර.ඒ කියන්නේ අවුරුදු ගාණකට සැරයක් මේ එක්තරා දේශයට දැවැන්ත ගිනි පිඹින මකරෙක් පියඹාගෙන එනවා. ඒ එන්නේ දේශයට උතුරෙන් තියෙන මහා විශාල කෑලෑවෙන්. මේ කැලෑව කිසිම මනුෂ්‍ය වාසයක් නැති රුදුරු සත්තුන්ගෙන් පිරිච්ච කැලයක් විදිහටයි මිනිස්සූ විශ්වාස කලේ. ඒ නිසා පණට ආදරේ කිසි කෙනෙක් ඔය කැලෑවට යන්නේ නෑ. ඔන්න ඉතින් ඔය කැලෑවෙන් අවුරුදු ග

දෙවන වියමන | තෙපිටයි ඒ ශාපේ... පව්කාරයිනි !

ප්‍රදීපා ධර්මදාස සහ දීපිකා ප්‍රියදර්ශනී ගායන කරන "සොයා දියව් මට සරණක්" ගීතය මෑත කලයේදී වඩාත් ජනප්‍රිය වුනේ එක්තරා රියලටි තරඟයකදී ආධිත්‍යා වැලිවත්ත විසින් ගායනා කිරීමත් සමඟයි. මම මේ කියන්න යන්නේ ආධිත්‍යා ගැනවත් රියලටි තරඟ ගැනවත් එහෙම නැත්තන් මේ ගීතය ගැනවත් නෙමේ.ඒවා ගැන පස්සේ කතා කරමු. මම හිතන්නේ හැමෝම දන්නව ඇති ආචාර්ය සුනිල් අරියරත්න මහත්තයා මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන්නේ 88, 89 කාලයේ මේ සකල පිරින් පිරි සිරි ලංකාවේ සිදුවුණු හැබැයි මේ ලෝකයේ කවදාවත් සිදු නොවිය යුතු සිද්ධි සමුදායක් පාදක කරගෙන කියලා. ඒ ගැනත් මම පස්සේ දවසක ලියන්නම්.මේ ගීතය මගේ ජීවිතයට සමීප වෙන්නේ මට පෞද්ගලිකව සිදුවුණ සිදුවීමක් නිසයි. ආධිත්‍යා මේ ගීතය කියනකොට මගේ හිත මීට වසර ගණනාවක් ඈතට ගියා. සමහර ගීත තියනව ඒ ගීත මතක් වෙද්දී අපිට පෞද්ගලික අතීත සිදුවීමක් මතක් කරන. සමහර විට ඒ සිදුවීම ගීතයේ තේරුමට ලොකු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්.මම ඒ කතාව නම් ගම් නැතුව කියන්නම්. මීට වසර කීපයකට පෙර මම සේවය කළේ කොළඹින් ඉතා දුර දුශ්කර පලාතක.ප්‍රධාන නගරයකට එන්න නම් හැතැප්ම 10 කටත් වඩා යන්න තියනවා. ඒකත් දවස් දෙකකට සැරයක් තියෙන බස් එක