Skip to main content

පස් වන වියමන | මාස්ටර් සර්



"මල්ලිද මේක කරන්නේ... මං කියෙව්වා මේක... වයිෆ් ගෙනල්ලා දුන්නේ" 

මධුරප්පෙරුම ආරච්චිලගේ සුනිල් මධුරප්පෙරුම එහෙම නැත්තන් හැමෝම දන්න විදිහට හතරේ කණුවේ ඔස්ටින් සිය ගැඹුරු කටහඬ අවදි කළේ සිය අතේ තිබුණු සඟරාව නැවත ටීපෝව උඩට විසි කරමිනි..

" මල්ලි මේ හිත කියන්නෙත් මහ පුදුම දෙයක් නේද?.... මේක ඇතුලෙනේ මේ ඔක්කොම දේවල් තියෙන්නේ. මං මේ අපේ උන්ටත් කිව්වා හොයාගෙන කියවන්න කියලා..  මුං කොහෙද?...."

ජෙහාන් මඳ සිනාවක් පෑවා පමණි. ඇතින් මේ දෙස බලාගෙන සිටි සිය සගයා ප්‍රියන්ත මහඋල්පොතගමට ට අතින් සංඥාවක් පෑවේය. ඒ තේ පිළිගැන්වීම සඳහායි. ප්‍රියන්ත තේ බන්දේසිය ගෙන ඔස්ටින් ඉදිරියට පැමිණියා.ඔලුව උස්සා ප්‍රියන්තගේ හිසේ සිට පාදන්තය දෙස උකුසු බැල්මක් හෙළු ඔස්ටින්...

"උඹ මාව අඳුරනවාද? "

"නෑ සර්.." ප්‍රියන්තගේ බයාදු හඬ මුමුණයි.

"එහෙනම් ඇයි මට සර් කිව්වේ..? "

ප්‍රියන්ත ජෙහාන්ගේ මුහුණ දිහා බැලුවේය. ජෙහාන්ද නිරුත්තරය.

"උඹ දකින දකින හැම එකාටම සර් කියනවාද? "

 ඔස්ටින් ගුගුරයි. ප්‍රියන්ත බිම බලාගත්තේය.

ඇත්තටම අපි දකින දකින හැම කෙනාටම සර් එහෙම නැත්තන් මැඩම් කියන්න ඕනේද. අපි කාටද සර් කියන්නේ.එහෙම නැත්තන් අපි කාටද ගරු කරන්න ඕනේ.

ලංකාවේ මිනිස්සු තවත් කෙනෙක්ට ගරු කරන්න එක එක හේතු බලනවා.

එක. ඇඳුම සහ පෙනුම  : සරම්කාරයෙක්ට වඩා කලිසම් කාරයෙක්ට මිනිස්සු සලකනව වැඩී ( දේශපාලුවො ටික අමතක කරන්න ඈ. 😉 ) පොඩ්ඩක් ඔය සමහර රජයේ ඔෆිස් එකකට ගිහිල්ලා බලන්නකෝ වැඩේ කරගන්න ලේසි සරමක් හරි ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇඳන් ගියාමද එහෙම නැත්තන් කලිසමක් අත් දිග ශර්ට් එකක් ඇඳලා ටයි පොල්ලක් දාගෙන ගියාමද කියලා.

දෙක. කඩ්ඩ : කඩ්ඩ නැත්තන් ඉංග්‍රීසි ටිකක් කටේ ගෑවිලා තියනවනම් මිනිස්සු සලකන්නේ හරියට සුද්දෙක්ට වගේ. ඉංග්‍රීසි කියන්නේ සන්නිවේදන මාධ්‍යක් මිසක් උගත් කම හරි පොෂ්කම හරි පෙන්නන දෙයක් නෙමේ කියලා මින්ස්සු කවදා තෙරුම් ගනීද.

තුන. වයස : වැඩිහිටියන්ට ගරු කිරීම සංස්කෘතියෙන්ම අපිට උරුම උනාට කෙනෙක් වයසින් වැඩිවුන පලියෙන්ම අපි එයාට ගරු කරන්න ඕනද? එහෙම බැලුවොත් අපිට වයසින් වැඩි කුඩුකාරයන්ටයි මිනීමරුවන්ටයි ගරු කරන්න වෙනවනේ.

හතර. ලිංගිකත්වය : Ladies first කියලා කතාවට කිව්වට කෙනෙක් පිරිමියෙක් හෝ ගැහැනියක් වුන පමණින් ඔවුන්ට ගරු කරන්න ඕනෑද. අනික් අතට අද සමාජය විෂම ලිංගිකයන් දිහා බලන්නේ වපර ඇහින්. ඇත්ත. ඔවුන් සත්ව සමාජයක මූලීක අරමුණ වන තම වර්ගයා බෝකිරීමට දායක නොවෙනවා තමයි. ඒත් ඒ ඔවුන්ගේ තේරීම. අපි කොහොමද ඒකට එපා කියන්නේ. විෂම ලිංගිකත්වය කියන්නේ රෝගයක් නෙමේ කියලා අද ලෝකයම පිලිගත්ත කාරණයක්.

ඔය කිව්වේ මිනිහෙක් තවත් මිනිහෙක්ට ගරු කරන්න බලන දේවල් වලින් ටිකක්. කාටද ගරු කරන්න ඕනේ කියලා හරියටම කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ.  ඒක තමයි " පූජාච පූජනීයානං " ඒ කියන්නේ පිදිය යුත්තන් පිදීම.කෙනෙක්ට ගෞරව කරන්න නම් ඒ කෙනාගේ කුලය, පෙනුම, ඇඳුම, භාෂාව, ලිංගිකත්වය, රස්සාව, හෝ වයස අදාල වෙන්නේ නෑ. අදාල වෙන්නේ ඔහුගේ ගතිගුණයි. ඔබට ගෞරවය ලබාගන්න ඕනේ නම් මුලින්ම ඒ සඳහා සුදුසු වෙන්න. මොකද ගෞරවය කියන්නේ උපයගත යුතු දෙයක්. ඒක කවදවත් බලෙන් ලබාගන්න බෑ.

ප.ලි. උඩ පින්තූරේ නිකන් දැම්මේ. (https://images.app.goo.gl/PHFFJtMC44nGBi1S8) (සමහර අය උඩ කියපු ඒවයින් කිසි දෙයක් නැතුවත් ගෞරවය බලාපොරොත්තු වෙනවනෙ ඉතින්)

Comments

Popular posts from this blog

තෙවන වියමන | සචිත්ත පරියොදපනං.

මේක සෙන් කතාවක් මට මතක විදිහට. ඕන්න එක ගමක පන්සලක වැඩ හිටියලු. ලොකු හාමුදුරු නමකුයි උන්නාන්සේගේ තරුණ ගෝල නමයි. ලොකු ස්වාමීන් වහන්සේ බොහෝම සීලවන්ත සමහර විට මගඵල ලාභී ස්වාමින්වහන්සේ කෙනෙක් විදිහට තමයි හැමතැනම ප්‍රසිද්ධ. හරි ගුණ ගරුකයි. බණ කියන්නත් රුසියා. හතර වටින් ආධාරනා ලැබෙනවා බණ ගෙවල් වලට. බණ කියනවා කියන්නේ මේ කලේ සංඝ ස්ටාර් ලා කියන කුණුහරුප බණ නෙමේ. හොඳ ධර්ම කරුණු පහදලා දෙන බණ. ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් පන්සලට ආරාධනාවක් ලැබෙනව බණකට වඩින්න.හැබැයි ටිකක් දුර ගමකට තමා වඩින්න වෙන්නේ. ලොකු හාමුදුරුවෝ හිතුවා පොඩි තැන පන්සලේ තියල යනවට වඩා එක්කන් ගියොත් හොඳයි කියලා. මොකද උන්නාන්සේත් බණ කියන හැටි එහෙම ඉගෙන ගන්න එපැයි. තමන් වහන්සේත් කියලා තව කොච්චර කාලයක් ඉන්නද.අනික් එක තමන් ඉගෙන ගත්ත ධර්ම කරුණු ඒවා නොදන්න අයට කියල දෙන එක සුළුපටු පුණ්‍යකර්මයක්ද. ඉතින් නියමිත දවසේ උදේන්ම නැගිටලා ලොකු හාමුදුරුවෝ ගෝල නමත් ලෑස්ති කරගෙන ගමන යන්න පිටත් වුණා. ඒ කාලේ දැන් කලේ වගේ වාහන එහෙමත් නෑනේ. පයින්ම තමා වඩින්න වෙන්නේ.කැලෑ මැදින්, ගංගා තරණය කරගෙන මග හම්බ වෙන ගම් වලින් දානය අරගෙන බොහේම දුෂ්කර ගමනක් තමා යන්න වෙන්නේ...

දෙවන වියමන | තෙපිටයි ඒ ශාපේ... පව්කාරයිනි !

ප්‍රදීපා ධර්මදාස සහ දීපිකා ප්‍රියදර්ශනී ගායන කරන "සොයා දියව් මට සරණක්" ගීතය මෑත කලයේදී වඩාත් ජනප්‍රිය වුනේ එක්තරා රියලටි තරඟයකදී ආධිත්‍යා වැලිවත්ත විසින් ගායනා කිරීමත් සමඟයි. මම මේ කියන්න යන්නේ ආධිත්‍යා ගැනවත් රියලටි තරඟ ගැනවත් එහෙම නැත්තන් මේ ගීතය ගැනවත් නෙමේ.ඒවා ගැන පස්සේ කතා කරමු. මම හිතන්නේ හැමෝම දන්නව ඇති ආචාර්ය සුනිල් අරියරත්න මහත්තයා මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන්නේ 88, 89 කාලයේ මේ සකල පිරින් පිරි සිරි ලංකාවේ සිදුවුණු හැබැයි මේ ලෝකයේ කවදාවත් සිදු නොවිය යුතු සිද්ධි සමුදායක් පාදක කරගෙන කියලා. ඒ ගැනත් මම පස්සේ දවසක ලියන්නම්.මේ ගීතය මගේ ජීවිතයට සමීප වෙන්නේ මට පෞද්ගලිකව සිදුවුණ සිදුවීමක් නිසයි. ආධිත්‍යා මේ ගීතය කියනකොට මගේ හිත මීට වසර ගණනාවක් ඈතට ගියා. සමහර ගීත තියනව ඒ ගීත මතක් වෙද්දී අපිට පෞද්ගලික අතීත සිදුවීමක් මතක් කරන. සමහර විට ඒ සිදුවීම ගීතයේ තේරුමට ලොකු සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්.මම ඒ කතාව නම් ගම් නැතුව කියන්නම්. මීට වසර කීපයකට පෙර මම සේවය කළේ කොළඹින් ඉතා දුර දුශ්කර පලාතක.ප්‍රධාන නගරයකට එන්න නම් හැතැප්ම 10 කටත් වඩා යන්න තියනවා. ඒකත් දවස් දෙකකට සැරයක් තියෙන බස් එක...

සය වන වියමන | කාල තරණය

  මට ඕනේ අතීතයට යන්න. මගේම කියලා පුංචි කාලයාත්‍රවක නැගලා කාලය සහ අවකාශය හරහා අතීතයට යන්න. ලොකු කාලයක් නෙමේ. අවුරුදු 20ක් විතර අතීතයට.... වෙන කාගෙවත් නෙමේ මගේම අතීතයට යන්න. ඉස්සර මායි මල්ලිලා දෙන්නයි නිදා ගත්තේ එකම කාමරේ.... මම එක ඇඳක. මල්ලිලා අනික් ඇඳේ. නිදාගන්න ගියේ එක වගේ පිජාමා තුනක් ඇඳන් එකම වෙලාවට. කෑවේ එකම වෙලාවට පාඩම් කලේ එක ළඟ තිබුණු මේස තුනක. ඉස්කෝලේ ගියේ එකම ඉස්කූල් වෑන් එකේ එකට. ආවේ එකට. හැමදේම කලේ එකට. සෙල්ලම් කලේ එකට. අම්මගෙන් බැනුම් ඇහුවේ එකට.හැමදේම එකට.  පොඩි කාලේ මට විතරයි බයිසිකලයක් තිබුනේ. ඕකෙන් ඉතින් කොච්චරවත් බිම වැටෙනවා. බිම වැටිලා මගේ දනිස් දෙකම ලෙලි ගිහිල්ලා තිබුණේ. ඒ තුවාල අවුරුදු දෙකක් විතරම හොඳ වෙන්නේ නැතුව තිබුනා. ඒකට බෙහෙත් දාන්න ගියාම ඩොකා අහනවනේ කොහොමද තුවාල වුණේ කියලා. ඉතින් අම්මා කියනවා බයිසිකලෙන් වැටිලා කියලා. ඊළඟට ඇතුලට එන්නේ මල්ලිලා දෙන්නා උන් දෙන්නගේ කකුල් වලත් ඊටත් හපන් තුවාල. ඩොකා ආයෙත් අහනවා  "මේ මොනව කරගෙනද? බයිසිකලෙන් වැටිලද?"  "නෑ ඩොක්ට බයිසිකලය පස්සේ දුවලා " අම්මා උත්තර දෙනවා. මල්ලිලාට ඒ වෙද්දි බයිසිකල් පදින්න බැරි වුණත් මං...