මට ඕනේ අතීතයට යන්න. මගේම කියලා පුංචි කාලයාත්‍රවක නැගලා කාලය සහ අවකාශය හරහා අතීතයට යන්න. ලොකු කාලයක් නෙමේ. අවුරුදු 20ක් විතර අතීතයට.... වෙන කාගෙවත් නෙමේ මගේම අතීතයට යන්න.
ඉස්සර මායි මල්ලිලා දෙන්නයි නිදා ගත්තේ එකම කාමරේ.... මම එක ඇඳක. මල්ලිලා අනික් ඇඳේ. නිදාගන්න ගියේ එක වගේ පිජාමා තුනක් ඇඳන් එකම වෙලාවට. කෑවේ එකම වෙලාවට පාඩම් කලේ එක ළඟ තිබුණු මේස තුනක. ඉස්කෝලේ ගියේ එකම ඉස්කූල් වෑන් එකේ එකට. ආවේ එකට. හැමදේම කලේ එකට. සෙල්ලම් කලේ එකට. අම්මගෙන් බැනුම් ඇහුවේ එකට.හැමදේම එකට.
පොඩි කාලේ මට විතරයි බයිසිකලයක් තිබුනේ. ඕකෙන් ඉතින් කොච්චරවත් බිම වැටෙනවා. බිම වැටිලා මගේ දනිස් දෙකම ලෙලි ගිහිල්ලා තිබුණේ. ඒ තුවාල අවුරුදු දෙකක් විතරම හොඳ වෙන්නේ නැතුව තිබුනා. ඒකට බෙහෙත් දාන්න ගියාම ඩොකා අහනවනේ කොහොමද තුවාල වුණේ කියලා. ඉතින් අම්මා කියනවා බයිසිකලෙන් වැටිලා කියලා. ඊළඟට ඇතුලට එන්නේ මල්ලිලා දෙන්නා උන් දෙන්නගේ කකුල් වලත් ඊටත් හපන් තුවාල. ඩොකා ආයෙත් අහනවා
"මේ මොනව කරගෙනද? බයිසිකලෙන් වැටිලද?"
"නෑ ඩොක්ට බයිසිකලය පස්සේ දුවලා " අම්මා උත්තර දෙනවා.
මල්ලිලාට ඒ වෙද්දි බයිසිකල් පදින්න බැරි වුණත් මං පදිනකොට මගේ පස්සෙන් දුවගෙන එනවා.උන්ට ඒක විනෝදයක්. ඒ එද්දි වැටිලා තමයි තුවාල කකුල් දෙකේ.
පස්සේ ඒ දෙන්නටත් බයිසිකල් අරන් දුන්නට පස්සේ අපි තුන්දෙනාම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කළුවර වෙනකම්ම, අම්මා බනිනකම්ම බයිසිකල් පදිනවා. අපි ඒ කාලේ හරිම සුළු දේවල් වලින් තමයි සතුටට පත් වුණේ.
ඒකට දැන්....
සමහර වෙලාවට අපි තුන් දෙනා තුන් තැනක. ගෙදර හිටියත් කාමර තුනක. එකට සෙල්ලම් කරපු කාලයක් මතක නෑ. තාක්ෂණයයි කාලයයි සල්ලියි අපිව ගොඩක් ඈත් කරලා. ඒ සුන්දර කාලය අපේ ජීවිතයට ආයේ කවදාවත් එන්නේ නෑ. වෙනස් නොවී තියෙන්නේ අම්මා පොඩ්ඩ ඇත්තන් බනින එක විතරයි. ඒවත් තව කොච්චර කාලයකටද? වැඩිම උනොත් තව අවුරුදු දහයක් විස්සක් තියෙයි.
දවසක් තියෙන්න ඇති අපි අන්තිමටම එකට හිටපු.අන්තිමට එකට කාපු. අන්තිමට එකට නිදාගත්ත. අන්තිමටම එකට සෙල්ලම් කරපු......
මට ආයෙත් ඒ දවසට යන්න පුලුවන් නම්. මට, මගේ අතීතයට කියන්න තිබුණා " උඹලා අන්තිමට එකට සෙල්ලම් කරන දවස තමයි අද. ආයෙත් මැරෙනකම්ම මේ වගේ දවසක් එන්නේ නෑ" කියලා.
එහෙනම් අපිට තව වැඩිපුර පැයක්වත් සෙල්ලම් කරන්න තිබුණා.
____________________________________________________________________________________________
ඉස්සර අපේ ගම අද වගේ නෙමේ. ඇත්තටම ගමක්. උළු හෙවිල්ලපු මහ ගෙදර වටේ ලොකු වත්තක් තිබුණා. ඉස්සරහ පොඩියට තාර දාපු පාරක්. අවුරුදු දවසට පස්සේ දවසේ අප්පච්චිගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම මහ ගෙදර එනවා. ගෙදර පුරාම කැවුම් කොකිස් සුවඳයි. කොහාත් කොහේදෝ ඉඳලා කෑ ගහනවා. ඉස්සරහ පාරේ සැරින් සැරේ බය්සිකල් රේස් යනවා.රේස් එකක් යන යන ගානේම අපේ වැඩේ පාර ගාවට දුවන එක. අපි ඒ කියන්නේ මායි මල්ලිලා දෙන්නයි තව අප්පච්චිගෙ සහෝදාර සහෝදරියන්ගේ ලමයි ටිකයි දවසම කරන්නේ සෙල්ලම් කරන එක. හැමෝම උදේ පාන්දරම මහ ගෙදරට එනවා. ලොකු ඈයෝ ඉවුම් පිහුම් වැඩ එහෙම නැත්තන් සතුටු සාමිචියේ යෙදෙනකොට අපි දවසම ක්‍රිකට් ගහනවා. එහෙම නැත්තන් අල්ලන සෙල්ලම්. මහ ගෙදරට උඩින් තියෙන කැලෑවේ හැංගිමුත්තන් කරන එක තමයි ලොකුම විනෝදේ.
හවස් වෙනකොට දාඩිය නාලා ඉතින්. ඊට පස්සේ කරන්නේ ලිඳෙන් නාලා රෑට කාලා නිදාගෙන පහුවදා උදේ අපේ ගෙදරට එනවා.
එක දවසක් නැන්දලාගේ ගෙදර ගිහිල්ලා මල්ලිලයි අක්කයි එක්ක වෙලේ මඩෙ බැහැගෙන සෑහැන්න දුර ගිහිල්ලා තිබුණා. හවස් වෙනකන් අපි නැති නිසා මාමා ඇවිත් අපිව එක්කන් යනකන් අපි මඩේ.
ඒකට දැන්...
දැන් ඉස්සර තිබුණු ගම නෑ. ඒක නාගරිකරණය වෙලා. මහ ගෙදර ඉස්සරහ තිබුණ පාර අධිවේගි පිවිසුම් මාර්ගයක් වෙලා. පාර දෙපැත්තේ අඩියෙන් අඩියට කොත්තු කඩ. පාර හදන්න ඉඩමෙන් ලොකු කොටසක් ගිහින්. ගෙදරත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ගෙදර වටේම තිබුණ ඉඩම කෑලි කරලා විකුණලා. ලිඳත් දැන් නෑ. සෙල්ලම් කරන්න තියා හැරෙන්නවත් ඉඩ නෑ. අපිත් අවුරුද්දට යන්නෙත් කලබලේ. එක එක අය ඒ ඒ අයට පහසු දවස් වලට තමා ගමේ යන්නේ. එකට සෙල්ලම් කරපු කාලයක් මතක නෑ.
එක දවසක් තියෙන්න ඇති අපි හැමෝම අන්තිම පාරට කලින් තිබුණු ලස්සන ගමේ එකට එකතු වුණු. එකට සතුටින් නිදහසේ කාලා බීලා. දවසම දාඩිය පෙරාගෙන සෙල්ලම් කරපු... ආයෙත් ඒ දවස කවදාවත් එන්නේ නැති වෙයි.
මට පුළුවන් නම් ආයෙත් ඒ දවසට යන්න. ගිහින් කියන්න උඹලා සතුටින් මේ ලස්සන ගමේ සෙල්ලම් කරන අන්තිම දවස අදයි කියලා. එහෙනම් අපිට තව ටික වෙලාවක් සෙල්ලම් කරන්න තිබුණා. තව දවසක් දෙකක් ඒ ගමේ නැවතිලා එන්න තිබුණා.
___________________________________________________________________________________________
ඉස්සර අපි දෙන්නා යාලු වුන මුල් දවස් වල අපි හරි සතුටින් හිටියා. අනාගතය ගැන ලොකු බරක් නෑ. අපි අපේම සිහින ලෝකවල හිටියා. පැය ගනන් එක ළඟ වාඩිවෙලා කතා කලා. පැය ගනන් කෝල් කලා. රෑ එලි වෙනකන් වීඩියෝ චැට් කලා. බස් එකේ එක එක තැන් වල ගියා. අත් අල්ලගෙන හැතැප්ම ගනන් ඇවිද්දා. මාසෙන් මාසේ ඇනිවසරි සැමරුවා. අපි හරි සැහැල්ලුවෙන් හිටියේ.
ඒකට දැන්...
අපි දෙන්නම බිසී. හරියට කතාකරන්න වෙලාවක් නෑ. හම්බු වෙන්නෙත් මාස දෙකකට සැරයක් විතර. ඒ හම්බ උනත් ලොකුවට කතාකරන්න වෙලාවක් නෑ. යන්නේ එන්නේ වාහනේ. නිදහසේ කතාකරන්න විදිහක් නෑ. පොඩ්ඩ ඇත්තන් තරහ යනවා දෙන්නටම. ජීවන බර සහ වගකීම් ටික ටික අපි දෙන්නව හිර කරනවා.
දවසක් තියෙන්න ඇති. අපි දෙන්නා අන්තිමට සතුටින් එකට තුරුළුවෙලා නිදහසේ ආදරයෙන් කතා කර කර ඉඳපු. මට පුලුවන් නම් ඒ දවසට කාලයාත්‍රා කරන්න. මට කියන්න තිබුණා අද තමයි උඹලා සතුටින් නිදහසේ ඉන්න අන්තිම දවස කියලා. එහෙමනම් අපිට තව එක පැයක් වැඩිපුර කතා කර කර ඉන්න තිබුණා.
___________________________________________________________________________________________
අපි අද ගතකරන දවස ආයේ කවදාවත් අයේ ගන්න බෑ. ඒක නිසා ජීවත්වන අද දවස සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙමු.
"Give Me Some Sunshine, Give Me Some Rain
Comments
Post a Comment